ප්‍රධාන පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගැන තවදුරටත් සොයා බලන්න – කාදිනල් හිමි

බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයාගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ.

එහිදී රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති අතර, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා ගුරු කාර්ය මණ්ඩලයක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එමෙන්ම කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන් ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීමේ වත්මන් ප්‍රගතිය මෙන්ම රජයට පවරාගත් පාසල්වල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට කතෝලික සභාව වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව ද කාදිනල් හිමිපාණන් එහිදී සඳහන් කර ඇත.

කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තම ආගම ඉගෙන ගැනීමට අවස්ථාව තහවුරු කිරීම තම අභිලාෂය බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button