ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවට IMF සහාය තවදුරටත් අඛණ්ඩයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අඛණ්ඩ සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තවදුරටත් කැපවී සිටින බව නැවතත් අවධාරණය කර තිබේ.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික බලපෑම් ඇති කළ ප්‍රධාන කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි.

එහි පළමු කම්පනය ලෙස ඇය හඳුන්වා දුන්නේ “දිට්වා” සුළි කුණාටුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් රැසකට අහිතකර බලපෑම් ඇති කළ ස්වභාවික ආපදාවක් බවද පැවසුවාය.

දෙවැනි ප්‍රධාන අභියෝගය ලෙස මැද පෙරදිග පවතින යුද තත්ත්වයේ අඛණ්ඩ බලපෑම ඇය සදහන් කළාය.

මෙවැනි බාධක මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව ජූලි කොසැක් මහත්මිය අවධාරණය කළාය.

IMF සහාය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මඟින් ගෙන ගිය ආර්ථික සංශෝධන මේ වනවිට ප්‍රතිඵල ලබාදීමට ආරම්භ කර ඇති බවද ඇය පැහැදිලි කළාය.

බලධාරීන්ගේ ස්ථිර කැපවීම සහ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය දියුණු වෙමින් පවතින බව IMF පාර්ශ්වය පෙන්වා දෙයි.

ඉදිරියේදී ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කරමින් තීරණ ගන්නා බවද, ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදීමට IMF දැඩි කැපවීමකින් කටයුතු කරන බවද ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button