
ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්
ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වීමත් සමඟ මෙරට ශ්‍රම බලකායේ ඵලදායිතාවට ඉදිරියේදී දැඩි හානියක් සිදුවිය හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවා තිබේ.
ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් හමුවේ රැකියා අවදානමක්
එම සංවිධානය සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව, 2040 වසර වන විට ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන රැකියා 145,000කට සමාන ශ්‍රම ඵලදායිතාවක් අහිමි වීමේ අවදානමක් පවතී.
ශ්‍රී ලංකාවට මෙන්ම මාලදිවයිනට ද මෙම තත්ත්වයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. විශේෂයෙන් සේවක කාර්යක්ෂමතාව, රැකියා පරිසරය සහ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි අධික උෂ්ණත්වය අහිතකර බලපෑම් ඇති කරයි.
උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සේවකයන්ට නිතර විවේක ගැනීමට සිදුවීම, වැඩ කිරීමේ වේගය අඩුවීම සහ සෞඛ්‍ය ගැටලු ඇතිවීම ශ්‍රම ඵලදායිතාව පහත වැටීමට බලපාන ප්‍රධාන කරුණු ලෙස හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් උග්‍ර වුවහොත් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රැකියා ක්ෂේත්රයට මෙන්ම ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි.
එම අධ්‍යයනයට අනුව 2040 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට සිදුවිය හැකි සමස්ත අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 26ක් පමණ වේ.
විශේෂයෙන් එළිමහනේ සේවය කරන සහ දැඩි ශාරීරික වෙහෙසක් දරන පුද්ගලයන් වැඩි වශයෙන් නිරත වන කෘෂිකර්මාන්තය හා සේවා ක්ෂේත්රය අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑමකට ලක්විය හැකි බව ද එම සංවිධානය සඳහන් කරයි.
**ගෝලීය උෂ්ණත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් අවම කිරීමේ යෝජනා**
අධික උෂ්ණත්වයෙන් සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ සකස් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර කම්කරු සංවිධානය අවධාරණය කර තිබේ.
එමෙන්ම සේවා ස්ථානවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේද කඩිනමින් හඳුන්වාදිය යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
ඒ අනුව අධික සූර්ය රශ්මිය පවතින වේලාවන් මඟහැරෙන පරිදි සේවා කාලසටහන් වෙනස් කිරීම, සේවය අතරතුර විවේක ගැනීම සඳහා ක්‍රමවත් කාලසටහන් සකස් කිරීම, සේවා ස්ථානවල ප්‍රමාණවත් සෙවන සහ පානීය ජලය සැපයීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.



