
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට 32 දෙනෙකුගෙන් යුත් ජනපති උපදේශක සභාවක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට අදාළ තීරණ ගැනීම සඳහා සාමාජිකයන් 32 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති උපදේශක සභාවක් පත් කර තිබේ.
පූජා භූමිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම සහ පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙම සභාව පිහිටුවීමේ අරමුණ වී ඇත.
අනුරාධපුර පූජා භූමි සංවර්ධනය සහ උරුම සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙළක්
මෙම උපදේශක සභාවේ සම සභාපතිවරුන් ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති සහ මහාවිහාර සංඝ සභාවේ මහ ලේකම් මෙන්ම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබේ.
එමෙන්ම අභයගිරි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය මහාචාර්ය කල්ලංචියේ රතනසිරි හිමිපාණන් වහන්සේ, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති කහල්ලේ ඥානින්ද හිමිපාණන් වහන්සේ සහ ඉන්දීය මහාබෝධි සමාගමේ හිටපු නියෝජ්‍ය ලේකම් පූජ්‍ය ආචාර්ය කහටගොල්ලෑවේ මේධංකර හිමිපාණන් වහන්සේ ඇතුළු පිරිසක්ද ඊට ඇතුළත් වෙති.
රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ ජනරාල්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළු 32 දෙනෙකු මෙම උපදේශක සභාවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.
අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමද මෙම සභාවට පැවරී ඇති වගකීමකි.
සෙසු සාමාජිකයන් අතර බුද්ධශාසන අමාත්‍යාංශයේ පූජා භූමි අංශයේ අතිරේක ලේකම් සමන්ති නාගස්තැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම් තරනි අනෝජා ගමගේ, යුනෙස්කෝ සඳහා වූ ජාතික කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අධ්යක්ෂ ප්‍රසන්න රත්නායක යන මහත්ම මහත්මීහුද වෙති.
ඊට අමතරව උද්භිද විද්‍යාඥ භාතිය සුමිත්‍රා ආරච්චි, ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක, හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාලිංග අමරසිංහ, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සභාපති මහාචාර්ය ආර්. එම්. එම්. චන්ද්‍රරත්න ඇතුළු විද්වතුන් සහ වාස්තු විද්‍යා හා නගර සැලසුම් ක්ෂේත්රයේ නියෝජිතයන්ද සභාව නියෝජනය කරති.
අනුරාධපුර නගරාධිපතිවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරුන්ද ඊට ඇතුළත් වෙති.
තවද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පළාත් ඉංජිනේරු, අනුරාධපුර නාගරික කොමසාරිස් සහ සංචාරක ප්‍රවර්ධන ක්ෂේත්රයේ නිලධාරීන්ද සාමාජිකත්වය දරති.
මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු, ලංකා විදුලි බෙදාහැරීම් පුද්ගලික සමාගමේ අනුරාධපුර විදුලි ඉංජිනේරු සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුද සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
මෙම උපදේශක සභාව හරහා අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර එහි පෞරාණික, ආගමික හා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා අදාළ ආයතන අතර ඒකාබද්ධ සම්බන්ධීකරණයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.



