
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහතට – IMF අනතුරු ඇඟවීමක්
ඉරාන යුද්ධයේ බලපෑම මත මේ වසර සඳහා ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර ඇත.
යුද්ධය දිගටම පැවතීමෙන් ගෝලීය ආර්ථිකය තුළ ඇතිවිය හැකි අභියෝගාත්මක තත්ත්වයන් පිළිබඳවද IMF විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
දිගුකාලීන ගැටුම් තත්ත්වයක් ඇතිවුවහොත් බොරතෙල් මිල ඉහළ යාම ගෝලීය ආර්ථික අවපාතයකට ද හේතුවිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය පහත වැටීමක් අපේක්ෂා කළ හැකි බවද සඳහන් වේ.
එහෙත්, කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ දැවැන්ත ආයෝජන හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි IMF අනාවැකි පළ කරයි. අනෙක් පසින් බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුම් දාමයේ බාධා හේතුවෙන් චීනය සහ යුරෝපයේ ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බවද එම වාර්තාවෙන් පැහැදිලි කරයි.
මෙම ගැටුමෙන් වැඩි බලපෑමට ලක්වනු ඇතැයි සැලකෙන්නේ නැගී එන වෙළෙඳපොළ රටවල් බව IMF සඳහන් කරයි. එහෙත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විකල්ප වෙළෙඳපොළ සහ සැපයුම් මාර්ග වෙත මාරුවීමේ හැකියාවක් පවතින බවද සඳහන් වේ.
ඉන්ධන ආනයනය මත බහුලව රඳා පවතින ආර්ථිකයන් මෙම තත්ත්වයෙන් වැඩිම පීඩාවට ලක්වන බවද IMF පෙන්වා දෙයි.
ඉරාන යුද්ධය පදනම් කරගෙන IMF විසින් පුරෝකථන මට්ටම් තුනක් ඉදිරිපත් කර ඇති අතර, එම පුරෝකථන IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියෙරේ ඔලිවියර් විසින් ඉදිරිපත් කර ඇත.
එම අනුව, යුද්ධය තවත් උත්සන්න වුවහොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි අතර, 2026 වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වාත්, 2027 වන විට ඩොලර් 125 දක්වාත් ඉහළ යා හැකි බව සඳහන් වේ.
එමෙන්ම, යුද්ධය කෙටි කාලයකින් අවසන් වුවහොත් මේ වසරේ දෙවැනි භාගය වන විට තෙල් මිල බැරලයකට ඩොලර් 82 දක්වා අඩුවිය හැකි බවද පුරෝකථනය කරයි.
යුද්ධය දිගුකාලීනව පවතින තත්ත්වයකදී බොරතෙල් මිල ඩොලර් 100ට ආසන්න මට්ටමක පවතිනු ඇති අතර, ගෝලීය ආර්ථික වර්ධනය 2025 වසරේ 3.4% සිට 2.5% දක්වා පහත වැටෙනු ඇතැයි IMF පෙන්වා දෙයි.
ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් ගෝලීය වර්ධනය 2% දක්වා පහත වැටිය හැකි අතර, අහිතකර තත්ත්වයකදී ගෝලීය උද්ධමනය 6% දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ. සාමාන්‍ය වශයෙන් අපේක්ෂා කළ හැකි තත්ත්වයක් යටතේ එය 4.4% පමණ මට්ටමක පවතිනු ඇතැයිද IMF අනාවැකි පළ කර ඇත.



