
පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම්: පොලිස්පතිගෙන් දැඩි උපදෙස් මාලාවක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පොලිස් නිලධාරීන් තුළ සිදුවන අවිධිමත් තෑගි හුවමාරු හා බාහිර ආධාර ලබාගැනීම් වැළැක්වීමට පොලිස්පතිවරයා විසින් දැඩි උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිමිති කරගෙන පොලිස් නිලධාරීන්ට තුටුපඬුරු, තෑගි හෝ වවුචර් වැනි දෑ ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීම හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගෙන උත්සව සංවිධානය කිරීමද නොකළ යුතු බව එම උපදෙස් මාලාවෙන් අවධාරණය කර ඇත. මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට සූදානම් වීම පිළිබඳ ලැබී ඇති තොරතුරු හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට සුබ පැතීමේ අරමුණින් ලබාදෙන හැම්පර්ස්, තෑගි වවුචර් පත් ඇතුළු දෑ පිරිනැමීම මෙන්ම එවැනි දෑ භාරගැනීමද සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
එසේම, බාහිර පාර්ශ්වයන්ගේ සහයෝගය මත පොලිස් ස්ථානවල අලුත් අවුරුදු උත්සව පැවැත්වීමද තහනම් කර ඇති අතර, එවැනි සියලු ක්‍රියාකාරකම් වලින් වළකින්නැයි උපදෙස් ලබාදී ඇත.
කෙසේවෙතත්, පොලිස් ස්ථාන තුළ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සඳහා එක් නිලධාරියෙකුට රුපියල් 250ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බවද සඳහන් වේ.
මෙම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය විනයානුකූල පියවර ගැනීමට අධීක්ෂණ නිලධාරීන්ට ද උපදෙස් ලබාදී ඇති අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර, එම මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.



