
ගබ්සාව වැටලූ වලානේ මෙහෙයුම
බේරුවල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා, එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු විශ්වාසදායක තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසිනි.
අදාළ බලකායේ බුද්ධි අංශ නිලධාරියෙකු උපායශීලීව නීතිවිරෝධී ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා දිනයක් ලබාගෙන ඇති බව සඳහන් වේ. එහිදී, තමන් ඇසුරු කළ කාන්තාවකට ගබ්සාවක් සිදුකරගැනීමට අවශ්‍ය බව පවසමින්, සැකකරු වන වෛද්‍යවරයා සමඟ සංවාදයක නිරතව ඇති බව වාර්තා වේ.
ඊට අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව, අද (08) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට අයත් විශේෂ පොලිස් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
උපායදූත නිලධාරියා – මම ආවා ඩොක්ටර්. එදා අර අයින් කරගන්න කතා කරපු කෙනා..
ඩොක්ටර් – හරි.. ඔයා ඇවිල්ල ද ඉන්නේ.?
උපායදූත නිලධාරියා – ඔව් ඩොක්ටර්.
ඩොක්ටර් – එහෙනම් ඔයා ස්කෑන් රූම් එක ළඟට යන්න.
ඩොක්ටර් – මෙයාගේ බඩ ස්කෑන් කරන්න ඕනේ.
මට මෙයාගෙ යූරින් ටෙස්ට් එකකුත් චෙක් කරන්න වෙනවා. ඒ නිසා යූරින් එකක් අරන් දෙන්න.
උපායදූත නිලධාරියා – හොඳමයි ඩොක්ටර්.
උපායදූත නිලධාරියා – ඩොක්ටර් මෙයා බයයි මේ වැඩේ කරන්න. දැන් බෑ කියනවා.
ඩොක්ටර් – නෑ… නෑ… බය වෙන්න එපා ළමයෝ. ඔයා මේ ළමයා හදා ගන්නද? ඔයාල බැඳලා නෑනේ. ඔයාලට මේ ළමයා හදා ගන්න බෑනේ.
උපායදූත නිලධාරියා – ඒක තමයි ඩොක්ටර්, මේක අයින් කරගන්න ඕනේ.
ඩොක්ටර් – මේ… මේ… බයවෙන්න එපා. මම මේක පුරුදු වෙන්න කාරණව නෙවෙයි. මම ගොඩාක් ඔය වගේ කරල තියනවා. ඔයා බය වෙන්න එපා.
උපායදූත නිලධාරිනිය – එහෙනම් කමක් නෑ ඩොක්ටර් එහෙම කරමු.
ඩොක්ටර් – ඒකනේ. එහෙනම් ඔයාලා ස්කෑන් රූම් එකට යන්න. මම බෙහෙත් ටික අරන් එන්නම්.
උපායශීලී මෙහෙයුමක ලෙස යෙදවූ පොලිස් කොස්තාපල්වරියක් ගබ්සාවක් සිදුකර ගැනීමට උත්සාහ කිරීමේ අවස්ථාවේදී, සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම අතරතුර ගබ්සා කිරීම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ඖෂධ තොගයක් ද පොලිස් භාරයට ගැනීමට හැකිව ඇත.
අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු, බේරුවල ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කලක් සේවය කර ඇති පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. එසේම, ගබ්සා කිරීමක් සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 45,000කට වඩා මුදලක් අය කර ඇති බවද වාර්තා වෙයි.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ සහායිකාව එම ස්ථානයේදී සිහිසුන්ව ඇදවැටී ඇති බව සඳහන් වේ. එම අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදීමට, වැටලීම සිදු කළ නිලධාරීන්ට ඉල්ලන ඕනෑම මුදලක් අල්ලස් ලෙස ලබාදීමට සූදානම් බව සැකකරු පවසා ඇති බවටද තොරතුරු වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් සිදුකරමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.
පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාමල් ආරියවංශ මහතාගේ නියෝග අනුව, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම මෙහෙයුම සඳහා පොලිස් පරීක්ෂක ජනිත, උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් ජයලාල් (428), මධුරංග (61746), පොලිස් කොස්තාපල්වරුන් වන දනුෂ්ක (93425), කේ. සුමරන් (105086) සහ පොලිස් කොස්තාපල් රියදුරු උදාර (16227) යන නිලධාරීන් එක්ව ඇත.



