
ගාඩ්මෝර් වතුයායේ නායයෑමක් – පවුල් ආරක්ෂිත ස්ථාන වෙත
මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ නායයෑමක් සිදුවීමත් සමඟ අවදානම් තත්ත්වයේ පවතින වතු නිවාස පෙළක පදිංචි පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ මෙම නායයෑම සිදුව ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි තේ වත්තේ විශාල භූමි ප්‍රදේශයක් නායගොස් ඇත.
නායයෑමත් සමඟ වතුයායට ඇතුළුවන ප්‍රධාන මාර්ගයද පස් සහ ගල්වලින් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. ඒ හේතුවෙන් වතුයායට ගමන් කිරීමට ඇති මාර්ගය අවහිර වී ඇති අතර, වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම නිසා එහි පදිංචිකරුවන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
නායයෑමේ අවදානමට ලක්විය හැකි නිවාසවල සිටින පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙස වතු පාලනාධිකාරියට උපදෙස් ලබාදී ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ අතර, සිදුව ඇති මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ නායයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.



