
2025/2026 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට පරීක්ෂණ ආරම්භයි
ඉකුත් වසර සහ මෙම වසර තුල මහ කන්නයේදී සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට වන්දි මුදල් ලබාදීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල හානි පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් වගා හානි සිදුවූ ප්‍රදේශවලට ගොස් හානි තත්ත්වය සත්‍යාපනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින බවය.
ඒ අනුව පොළොන්නරුව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිදුව ඇති වගා හානි පිළිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.
මෙම පරීක්ෂණ අවසන් වූ වහාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය නිර්දේශ ලබාගෙන, සත්‍ය වශයෙන් හානි සිදුවූ ගොවීන්ට අදාළ වන්දි මුදල් ඉක්මනින් ගෙවීමට කටයුතු කරන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.



