ප්‍රධාන පුවත්

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛතා බස් රථ සේවාව අප්‍රේල් මාසයේදී

කලක පටන් මෙරට ආබාධිත පුද්ගලයන් හට විශාල අඩුවක්ව පැවති ප්‍රවාහන පහසුකම් සපුරාලමින් දිවයිනට ගෙන්වන ලද පත්ල පහත් බස් රථ එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ධාවනයට එක් කිරීම සැලසුම් කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.

 

ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් භාවිතා කළ හැකි විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

 

එහිදී අදහස් දැක්වූ අදාළ නිලධාරියා සඳහන් කළේ මෙම බස් රථ සේවාව ආබාධිත ප්‍රජාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණින් හඳුන්වා දෙන බවයි. එමෙන්ම මෙම බස් රථවලට ආබාධිත පුද්ගලයින්ට අමතරව සාමාන්‍ය සිවිල් පුරවැසියන්ටද ගමන් කළ හැකි වුවද, ගමන අතරතුර ආබාධිත පුද්ගලයෙකු බස් රථයට ගොඩවන්නේ නම් ඔහුට අවශ්‍ය ඉඩ ලබාදීම අනිවාර්ය බවද ඔහු අවධාරණය කළේය.

 

මේ අතර, මෙම අවස්ථාවට එක්වූ ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක මහතා සඳහන් කළේ මෙම විශේෂ බස් රථ සේවාව මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

ඒ අනුව මුල් අදියරේදී මාර්ග 5ක් හඳුනාගෙන ඇති අතර, පළමු අදියර යටතේ මාකුඹුර – පිටකොටුව සහ මාකුඹුර – කඩවත යන මාර්ග දෙක ඔස්සේ මෙම බස් රථ ධාවනය ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

 

තවද, එළඹෙන අගෝස්තු මාසය වන විට තවත් බස් රථ 100ක් ඇනවුම් කර ඇති අතර ජපානයේ ආධාර යටතේ තවත් බස් රථ 8ක් මෙරටට ලැබීමට නියමිත බවද පියතිලක මහතා සඳහන් කළේය.

 

එම බස් රථ ලැබීමෙන් අනතුරුව කැස්බෑව – පිටකොටුව, පානදුර – ටවුන්හෝල් සහ පානදුර – බත්තරමුල්ල යන මාර්ගවලද මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක මහතා,

 

“මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ තමයි අපි දැනට මේක නතර කරලා තියෙන්නේ. ඒකට හේතුව මෙතන ඉඳලා තමයි අපි අපේ ඔපරේෂන් එක පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මාර්ග 5ක් අපි හඳුනගෙන තිබෙනවා ආබාධිත ප්‍රජාවට විශේෂ සැලකිල්ලක් දැක්වීම සඳහා නමුත් අපිට ඉක්මනින්ම මේ මාර්ග 5 විවෘත කර ගැනීමට හැකියාවක් නැ. ඒ නිසා මාර්ග දෙකක් තෝරගත්තා. එකක් තමයි මාකුඹර සිට පිටකොටුවට යන මාර්ගය. මේක බත්තරමුල්ල, බොරැල්ල, ටවුන්හෝල් හරහා පිටකොටුවට යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

ඊළඟ එක තමයි මාකුඹුර ඉඳලා කඩවතට යන්න. මේක මහරගම අපේක්ෂා රෝහල, නාවින්න, කිරුළපන, බේස්ලයින් පාරේ ගිහිල්ලා පෑලියගොඩ, කැලණිය විශ්ව විද්‍යාලය හරහා කඩවතට යනවා. මේක තමයි අපි දැනට අප්‍රේල් මාසය ඇතුළත පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ.

ඒ අතරතුර නව බස් රථ ඇණියක් එනවා. අපි බලාපොරාත්තු වෙනවා අගෝස්තු මාසය ඇතුළත අපිට මේ ඔපරේෂන් එක පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අපි බස් 100ක් ඇනවුම් කරලා තිබෙනවා. ඒ වගේම අපිට ජපන් ආධාරයක් ලැබිලා තිබෙනවා. තවත් නවීන බස් රථ 8ක්. මේ ටික ඔක්කොම අගෝස්තු මාසය ඇතුළත ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අගෝස්තු මාසයේදි තවත් මාර්ග තුනක් ඒ කියන්නේ කැස්බෑව – පිටකොටුව, පානදුර – ටවුන්හෝල්, පානදුර – බත්තරමුල්ල කියන මාර්ග තුනත් අපි විවෘත කරනවා. 

මෙතනැදි ආබාධිත පුද්ගලයින් වගේම ගර්භිණී මාතාවන්ට, වැඩිහිටි පුද්ගලයින්ට, සහ එවැනි අවශ්‍යතා තියෙන අයට ආරක්ෂිතව කොහොමද සේවාව සපයන්නේ කියලා ගැටලුවකට අපි ආවා. එතැනදි අපි බස් රථය ඇතුළත ටිකට් කඩන එක ඉවත් කර කාඩ්පතකින් ගෙවීමේ කටයුතු හඳුන්වලා දෙනවා අපි මුළ ඉඳලාම. නමුත් අපි පොඩි කාලයක් දෙනවා සල්ලි ගෙවලා යන්නත්. ඒ සඳහා රිය සහායක පුහුණු කරමින් යනවා මේ දවස්වල. ඒ කියන්නේ කොහොමද ආබාධිතයෙක් ආවාම එයාට සලකන්නේ, එයාව ගන්නේ කොහොමද, එයාව අදාළ තැනින් රෝද පුටුවක් නම් ඒක කොහොමද ස්ථානගත කරන්නේ, ලොක් කරන්නේ, අන්ලොක් කරන්නේ ආදී සියලුම පුහුණුවක් ඇතුළත් දින 7ක පූර්ණ කාලීන පුහුණුවක් අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ අනුව එම රිය සහායකයින් මේ දවස්වල පුහුණු කරමින් පවතිනවා. 

අපි උත්සාහ කරනවා සුව පහසුව ඇතුළුව හරි වෙලාවට මේ බස් රථය නියමිත නැවතුම්පොළ දක්වා ගෙන යන්න. මේ සඳහාම වූ ඩිජිටල් පද්ධතියක් අපි මේදවස්වල නිර්මාණය කරමින් පවතිනවා. මේ ඩිජිටල් පද්ධතිය හරහා ඕනැම අයෙකුට පුළුවන් එයාට ඕන බස් එක මේ වෙලාවේ කොහෙද තිබෙන්නේ හෝල්ට් එකට එන්නේ කීයදට, ඉඳගෙන යන්න සීට්ස් තියෙනවාද, හිටගෙන යන්න පුළුවන්ද කියන එක අපි විසින් එළිදක්වන මේ ඇප් එකේ තියෙනවා. 

ඒ වගේම රෝද පුටුවක් මේ බස් එකට ගැනීමේදී මේ බස්නැවතුම්පොළවල් තිබෙන ප්‍රශ්න කිහිපයක් හඳුනගෙන තිබෙනවා. ඒ නිසාම මේ සඳහා විශේෂිත වූ බස් නැවතුම්පොළවල් මෙට්‍රෝ සඳහාම හදන්න අපි සැලසුම් කරලා තිබෙනවා. හේතුව තමයි අපේ බස් රථය වෙලාවට නැවතුම්පොළ වෙත යන්න ඕනේ. අන්න ඒ සඳහා මෙට්‍රෝ සඳහාම වූ බස් නැවතුම්පොළවල් නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙනවා. බස් හෝල්ට් එකේ අපි ඩිජිටල් ඩිස්ප්ලේ බෝඩ් එකක් දාලා තිබෙනවා. මේකෙදි ඇස් පෙනීම තිබෙන ඕනැම කෙනෙකුට බලාගන්න පුළුවන් බස් එක එන වෙලාවයි යන වෙලාවයි. අනිත් අයටත් දැනගන්න අපි සිස්ටම් එකක් හදලා තිබෙනවා බටන් එකක් ප්‍රෙස් කරපුවාම වොයිස් එකක් එළියට එන්න එතැනදි බස් එකේ විස්තර ටික ඕනෑම කෙනෙකෙුට දැනගන්න පුළුවන්.

ඒ වගේම බස් එක ඇතුළෙත් කමිනියුකේෂන් සිස්ටම් එකක් තිබෙනවා. ඒ වගේම බස් රථයේ ඇතුළේ ඩිස්ප්ලේ බොඩ් එකෙත් තියෙනවා කොයි වෙලාවට කොයි රූට් එකේද යන්නේ කියලා. මේ ආකාරයට තමයි මේ බස් 10 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button