ප්‍රධාන පුවත්

2025දී ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 10,455 ක් – කෘරත්වය සහ කායික දණ්ඩනය ඉහළට

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ තවදුරටත් පවතින ගැටලු පැහැදිලි කරමින්, 2025 වසර තුළ ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත.”

පසුගිය වසර තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති බව එම අධිකාරිය අනාවරණය කරයි.

අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ, නීතිවේදී හා සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය සඳහන් කළේ, 2025 වසර සඳහා මුළු පැමිණිලි සංඛ්‍යාව 10,455ක් ලෙස වාර්තා වී ඇති බවයි.

මෙම තොරතුරු හෙළිවූයේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.

එම පැමිණිලි අතරින් 2,099ක් ළමයින් කෘරත්වයට ලක් කිරීම සම්බන්ධයෙන් ලැබී තිබේ.

තවද, 2026 පෙබරවාරි 28 වන දින වන විට කායික දණ්ඩනයට අදාළ පැමිණිලි 11,409ක් වාර්තා වී ඇති බවද ඇය පැවසුවාය.

ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, ළමයින් කායික අපයෝජනයට හෝ කායික දණ්ඩනයට ලක් වන අවස්ථා පිළිබඳව දැනගන්නා හෝ දකින ඕනෑම අයෙකු වහාම ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බවයි.

ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන 1929 ළමා දුරකථන අංකය හරහා නොමිලේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම සේවාව ඕනෑම වේලාවක භාවිතා කළ හැකි බවද මහජනතාවට සිහිපත් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button