
මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට COPF අනුමැතිය
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්රී ලංකාවේ විදුලි සංදේශ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඩිජිටල් සම්බන්ධතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම සංශෝධනය, 2026 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබූ එකකි. ඒ අනුව 2026 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව ඉදිකෙරෙන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහනයක් ලබාදීම මෙහි ප්රධාන යෝජනාව වේ.
එමෙන්ම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක්විය.
වත්මන් බදු අනුපාත නීතිමය වශයෙන් යාවත්කාලීන කිරීම හා බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදුකිරීම සඳහා යෝජිත සංශෝධනවලට අනුමැතිය හිමිවූ අතර, පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට නොහැකි වූ Telecom Levy බදු මුදල් සමාගම්වලට අඩුකර ගැනීමට අවසර දීමේ යෝජනාව කාරක සභාව ප්රතික්ෂේප කළේය.
එවැනි සහනයක් විශාල සමාගම් කිහිපයකට පමණක් ලබාදීම සාධාරණ නොවන බව කාරක සභාව පෙන්වා දුන් අතර, පාරිභෝගිකයන්ගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් බවද අවධාරණය කළේය. ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී නැවත සලකා බැලීමට තීරණය කර තිබේ.
මේ අතර ශ්රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් “Licensed” යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්රචාරණ කටයුතු සිදුකිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ. මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්ර ලබාදී නොමැති බව නිලධාරීන් තහවුරු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී ඇත.
තවද ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අයකිරීම් විධිමත් කිරීම සඳහා නව HS කේත හඳුන්වාදීම, ආනයනික රෙදිපිළි සඳහා පැවති සෙස් බද්ද ඉවත් කර 18% VAT බද්දක් පැනවීම සහ ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට ගෙවනු ලබන සහන මුදල් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීම ඇතුළු ගැසට් නිවේදන හතරකට ද COPF අනුමැතිය ලබාදී තිබේ.



