ප්‍රධාන පුවත්

උතුරු පොල් ත්‍රිකෝණයේ නව අදියරක්

පොල් වගා කිරීමේ මණ්ඩලය ක්‍රියාත්මක කරන “කප්තුරු සවිය” වැඩසටහනට අයත් “උතුරු පොල් ත්‍රිකෝණය” ජාතික වැඩසටහනේ තවත් අදියරක් මුලතිව්, මුල්ලියවල ප්‍රදේශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත්, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

එහිදී පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබාදීම වෙනුවෙන් පොල් වගාකරුවන් 443 දෙනෙකුට සහනාධාර චෙක්පත් පිරිනැමිණි.

තවද, විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර චෙක්පත් ලබාදීමට කටයුතු කර තිබේ.

උතුරු පළාතේ පොල් වගා ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පොල් පැළ 3,000කට ආසන්න සංඛ්‍යාවක් ද වගාකරුවන් අතර බෙදා දෙන ලදී.

“උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහන පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි යන ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

පසුගිය වසරේ ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ වන්නේ උතුරු පළාතේ පොල් වගාව පුළුල් කිරීම, අක්‍රීය ඉඩම් යළි වගාව සඳහා යොදා ගැනීම සහ පොල් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමයි.

එමෙන්ම පොල් කර්මාන්තය හරහා ජාතික අපනයන ආර්ථිකයට ලැබෙන දායකත්වය වැඩි කිරීම ද “උතුරු පොල් ත්‍රිකෝණය” වැඩසටහනේ තවත් වැදගත් අරමුණක් වේ.

“කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා උතුරු පළාත නව පොල් නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම, පොල් වගාකරුවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම, පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් තහවුරු කිරීම සහ රටේ පොල් අපනයන ආදායම ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button