
හෝමාගම තරුණයාගේ මරණය ගැන පූර්ණ විමර්ශනයක්
හෝමාගම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්, කිසිදු පොලිස් නිලධාරියෙකු ආරක්ෂා කිරීමට විශේෂ ක්‍රියාමාර්ග නොගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
හෝමාගම තරුණයාගේ මරණය ගැන පූර්ණ විමර්ශනයක් – නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්, උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
නිලධාරියෙකු නීතිවිරෝධී හෝ විනය විරෝධී ක්‍රියාවක නිරත වී ඇති බව අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව නීතියට අනුව සහ විනය ක්‍රියාමාර්ග යටතේ දැඩි පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
අද (29) පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීම සම්බන්ධයෙන්ද එහිදී ප්‍රශ්න යොමු කෙරිණි.
හෝමාගම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සිද්ධියට පෙර දිනයේ සිට සිදුවූ දිනය සහ ඊට පසු දිනය දක්වා අදාළ සාක්ෂි සටහන් කරගෙන ඒවා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වුට්ලර් මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, ආඥා පනතේ 125 වැනි වගන්තියට අනුව මෙම විමර්ශනය බස්නාහිර පළාත් දකුණු කොට්ඨාශයේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පවරා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ, මත්ද්‍රව්‍ය අංශයේ උප ස්ථානාධිපතිවරයාගේ සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම, කොළඹ දකුණු කොට්ඨාශය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල මත මෙම මරණයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
පොලිස්පතිවරයා විසින් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා නිලධාරීන්ට නිරන්තරයෙන් උපදෙස් ලබාදෙන නමුත්, ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවන බව වුට්ලර් මහතා පෙන්වා දුන්නේය. ඉදිරියේදී එවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, කොබේගනේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදුවීම පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබේ.
ගස් බැඳ සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, අදාළ සැකකරුට සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු පහරදී ඇති බවට ලැබුණු තොරතුරු මත පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොට්ඨාශ භාර නිලධාරියාගේ සහ මහව සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වෙනම විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව වුට්ලර් මහතා පැවසීය.
තවද, ත්‍රිකුණාමලය පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදුවීම පිළිබඳවද මාධ්‍යවේදීන් විමසා ඇත. ඒ සම්බන්ධයෙන් කොට්ඨාශ භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එය ලැබීමෙන් අනතුරුව අදාළ තොරතුරු දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



