
තෙල් හා ගෑස් සැපයුම ගැන ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර තෙල් හා ගෑස් සැපයුම සම්බන්ධ සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දෙරට අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා අතර මෙම හමුව සිදුව ඇත.
එහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්රය ඇතුළු අංශ කිහිපයක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබේ. විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්වී ඇත. එම සමුළුව ඔක්තෝබර් 14 සහ 15 යන දිනවල අසර්බයිජානයේ බාකු නුවරදී පැවැත්වේ.
“ශක්තිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ මෙවර සමුළුව සංවිධානය කර තිබේ. එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද නියමිතය.
සමුළුවට සහභාගී වන අතරතුර කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු CICA සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් හා නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අමාත්‍යවරයා සැලසුම් කර ඇත. එමෙන්ම අසර්බයිජානයේ නියෝජිතයන් සහ CICA මහලේකම්වරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය මඟින් ආසියානු කලාපයේ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන මධ්‍යම ආසියානු ආර්ථිකයන් සමඟ නව ආර්ථික සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
CICA යනු ආසියාවේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම සාමය, ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රධාන කලාපීය අන්තර් රාජ්‍ය සංසදයකි.



