
ආනයන අපනයන මූල්‍ය වංචාවලට අපරාධ නීතිය
ආනයන අපනයන මූල්‍ය වංචා අපරාධමය වරදක් කිරීමට නව නීති
ආනයන හා අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචා දැඩි ලෙස මැඩපැවැත්වීමේ අරමුණින් ඒවා අපරාධමය වරදක් ලෙස සැලකිය හැකි නව නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් සිටින බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවති විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වත්මන් විදේශ විනිමය පනතේ පවතින නීතිමය හිඩැස් හේතුවෙන් මෙවැනි ක්‍රියාවන් මේ වනවිට සිවිල් වැරදි ලෙස පමණක් සලකන බවයි.
ඔහුගේ අදහස අනුව, දැනට ක්‍රියාත්මක නීතිය යටතේ මෙවැනි වංචාවලට මුහුණදෙන පුද්ගලයන්ට මහ බැංකුව විසින් දඩ මුදලක් පැනවීම පමණක් සිදුවන අතර, සැලසුම් සහගතව විදේශ විනිමය වංචා සිදුකරන පිරිස් සඳහා එය ප්‍රමාණවත් දඬුවමක් නොවන බව පැවසීය. ඒ හේතුවෙන් නව රෙගුලාසි හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා නීති විරෝධී මූල්‍ය ගනුදෙනු අපරාධමය වරදක් ලෙස නිර්වචනය කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිදු කළ විමර්ශන තුනකින් විශාල පරිමාණයේ මූල්‍ය වංචා රැසක් අනාවරණය වී තිබේ.
වත්මන් ක්‍රමවේදය යටතේ ආනයනකරුවන්ට භාණ්ඩ මෙරටට ගෙන්වීමට පෙර අත්තිකාරම් මුදල් ගෙවීමේ පහසුකම ලබාදී ඇති අතර, භාණ්ඩ වර්ගය අනුව දින 180, 360 සහ 730 දක්වා සහන කාලයක් ද හිමිවේ.
කෙසේ වෙතත්, එම සහන ක්‍රමය අවභාවිත කරමින් විදේශයන්ට ඩොලර් මාරු කළද, ඊට අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වා නොමැති අවස්ථා රැසක් විමර්ශනවලදී හෙළි වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි වංචා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රේගු දෙපාර්තමේන්තුව සහ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පද්ධති එකිනෙකට සම්බන්ධ කර තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
එමෙන්ම බැංකු හරහා ආනයන ගනුදෙනු සිදුකරන සියලු පාර්ශ්ව රේගු දෙපාර්තමේන්තුවේ අනිවාර්ය ලියාපදිංචියට යටත් කිරීම සඳහාද නව රෙගුලාසි සකස් කරමින් සිටින බව අනිල් ජයන්ත මහතා පැවසීය.
මීට අමතරව, රේගු සංකේත වංචනික ලෙස භාවිත කරමින් අපනයනය තහනම් ඇතැම් ලෝහ වර්ග ඇතුළු භාණ්ඩ වෙනත් භාණ්ඩ ලෙස ව්‍යාජව ප්‍රකාශ කර අපනයනය කිරීමේ ජාවාරම් ද අනාවරණය වී ඇති බව ඔහු හෙළි කළේය.
නීත්‍යානුකූලව බදු ගෙවමින් ව්‍යාපාර කරන පිරිස් ආරක්ෂා කිරීම සහ නීති විරෝධී අපනයන මැඩපැවැත්වීම සඳහා නව නීති හරහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර, ඒ සමඟ දේශීය කර්මාන්තවල වර්ධනයටද සහාය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



