ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ සෞඛ්‍ය ගැන ජනපතිගේ මැදිහත්වීම ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මානුෂීය පදනමක් මත මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංසදය පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලයක් පරිපාලනමය රැඳවුම් භාරයේ තබා ගැනීම වෙනුවට සුරේෂ් සලේ මහතාට අදාළ විමර්ශන සහ නීතිමය කටයුතු විනිවිදභාවයෙන් යුතුව කඩිනමින් ඉදිරියට ගෙන යා යුතු බවය.

සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව සඳහන් කර ඇති එම ලිපියෙන්, ඔහුගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙසද ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් වසර ගණනාවක් සේවය කළ නිලධාරියෙකු වන සුරේෂ් සලේ මහතා විධිමත් අධිචෝදනා පත්‍රයක් නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තැබීම පිළිබඳවද සංසදය සිය කනස්සල්ල පළ කර තිබේ.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සලේ මහතාට කිසියම් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත්, ඒ සම්බන්ධ වගකීම නියෝගය නිකුත් කළ බලධාරීන් වෙත පැවරෙන බවද ලිපියේ සඳහන් කර ඇත.

ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාධාවකින් තොර ප්‍රවේශයක් ලබාදෙන ලෙසත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ සුරේෂ් සලේ මහතා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, මේ වනවිටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියි.

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button