
කෝටි 1.3ක නීතිවිරෝධී දුම්වැටි සමග විදේශිකයෙක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බව කියන චීන ජාතික ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද (21) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු ආරංචි මාර්ග සඳහන් කළේ, කිසිදු භාණ්ඩයක් ප්‍රකාශ කිරීමට නොමැති බව දක්වන හරිත මාවත ඔස්සේ ගමන් කරමින් සිටියදී සැකකරු පරීක්ෂාවට ලක් කළ බවයි.
විමර්ශනවලදී ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000ක් අඩංගු දුම්වැටි කාටුන් 440ක් සොයාගෙන ඇත.
සැකකරු චීනයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ, එතැන් සිට තායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට ළඟා වී ඇති බවද අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ දුම්වැටි තොගය මේ වනවිට රේගු භාරයේ පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.



