ප්‍රධාන පුවත්

RMV කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ් – CID විමර්ශන තවදුරටත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (30) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මුලික විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශනය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමේ අරමුණින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර “බර සහතික” ලබාගෙන ඇති බවයි.

එම ලේඛන භාවිතා කරමින් අදාළ රථයට E කාණ්ඩයේ අංකයක් ලබා ගැනීම සිදු කර ඇති අතර, චැසි සංශෝධනයට අදාළ ගොණුව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවද හෙළි වී ඇත.

මෙම ක්‍රියාවලිය තුළ කමල් අමරසිංහ මහතා විසින් ව්‍යාජ ලෙස රථයක් එකලස් කිරීමට ආධාර සහ අනුබල ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව සැකකරු පසුගිය 27 වනදා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත ප්‍රදේශයේදී CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button