
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ආරම්භයි
2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊ-ආර්ථික සංගණනය (e-Census 2026) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනේ අරමුණ වන්නේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්ෂේත්රයට අදාළ නවතම හා විශ්වසනීය සංඛ්‍යාන දත්ත රැස් කර රටේ ආර්ථික සැලසුම්කරණයට ශක්තිමත් පදනමක් සැපයීමයි.
සංගණනය මඟින් කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ සහ සේවා අංශ ඇතුළු රටේ සියලුම කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් ආවරණය කෙරේ.
එහි පළමු අදියර ලෙස සේවකයන් 50ක් හෝ ඊට වැඩි විශාල පරිමාණ ආයතනවල තොරතුරු රැස් කිරීම ජූලි 1 වැනිදා සිට ආරම්භ කර ඇත.
ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම සංගණනය යටතේ අදාළ ආයතනවලට අන්තර්ජාලය හරහා ආරක්ෂිතව හා පහසුවෙන්, තමන්ට සුදුසු වේලාවක ඕනෑම ස්ථානයක සිට තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව ලබාදී තිබේ.
මෙම ක්‍රමය හේතුවෙන් දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, පිරිවැය අවම කිරීම, පරිසර හිතකාමී ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම සහ දත්තවල නිරවද්‍යතාව හා කාලීනභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
රැස් කරන දත්ත ජාතික සංවර්ධන සැලසුම්, ආර්ථික ප්‍රතිපත්ති සැකසීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම සංගණනයට ලබාදෙන සියලු තොරතුරු සංගණන ආඥාපනත සහ සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පූර්ණ රහස්‍යභාවයෙන් ආරක්ෂා කරන අතර, ඒවා සංඛ්‍යානමය කටයුතු සඳහා පමණක් භාවිත කරන බවද අවධාරණය කර තිබේ. පුද්ගල හෝ ආයතන මට්ටමේ තොරතුරු කිසිදු බාහිර පාර්ශ්වයකට අනාවරණය නොකරන බවද දෙපාර්තමේන්තුව පවසයි.
සේවකයන් 50ක් හෝ ඊට වැඩි කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා ආයතන මෙම ක්‍රියාවලියට එක්වීමට පෙර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචියෙන් පසු අදාළ ආයතනය සඳහා විශේෂිත සබැඳියක් ඊ-තැපෑල මඟින් ලබාදෙන අතර, එය භාවිත කරමින් සංගණන තොරතුරු මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.



