
GovPay වංචාවක් ගැන අනතුරු ඇඟවීමක් – ව්‍යාජ SMS පණිවිඩ ගැන අවධානයෙන් සිටින්න
GovPay වංචාවක් සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පොලිස් රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීමේ වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් කෙටි පණිවිඩ කිහිපයක් ජනතාව වෙත ලැබෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එම පණිවිඩ සමඟ යොමු කර ඇති GovPay සබැඳිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, ජනතාව නොමග යැවීම අරමුණු කරගත් සයිබර් වංචාවක් බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
GovPay නිල ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා රථවාහන දඩ මුදල් ගෙවන ලෙස කෙටි පණිවිඩ හෝ වෙනත් දැනුම්දීම් යැවීමක් රජය හෝ අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක සිදු නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන අමාත්‍යාංශය, lygov.art වැනි සැකසහිත විදේශීය වෙබ් අඩවි හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බව ද සඳහන් කර තිබේ.
මෙම වංචනික පණිවිඩ හරහා පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම්වලට අදාළ දත්ත ලබා ගැනීමට උත්සාහ කරන බවට ද අනතුරු අඟවා ඇත.
ඒ අනුව එවැනි කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ අඩංගු සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රජයේ හෝ නීතිමය ආයතනවල නමින් ලැබෙන සැකසහිත දැනුම්දීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, රජයේ නිල සේවා ලබා ගැනීමේදී gov.lk නිල වෙබ් අඩවි පමණක් භාවිත කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.



