අද විශේෂ

EPF එකට nominee කෙනෙක් නම් කලේ නැද්ද ?

ඔබේ පවුලේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන්, අදම මේ පුංචි පියවර ගන්න,

 

අපි අවුරුදු ගණනාවක් වෙහෙස වෙලා වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? අපේ පවුලේ අය, අපේ ආදරණීයයන් වෙනුවෙන්. පුද්ගලික අංශයේ සේවය කරන බොහෝ දෙනාට තියෙන ලොකුම මූල්‍ය ආරක්ෂාව තමයි සේවක අර්ථසාධක අරමුදල – EPF. සමහර විට මේකේ තියෙන්නේ ඔබ ජීවිත කාලයක් පුරා එකතු කරගත්ත ලක්ෂ ගණනක්, කෝටි ගණනක් වටිනා මුදලක්.

හැබැයි ටිකක් හිතලා බලන්න…

හෙට හදිසියේ ඔබට යම් අනතුරක් වෙලා ජීවිතය අහිමි වුණොත්, මේ එකතු කරගත්ත සල්ලි වලට මොකද වෙන්නේ?

🚫 ලොකුම අතපසු වීම – “නොමිනී” (Nominee) කෙනෙක් නම් නොකිරීම

බොහෝ දෙනා හිතන්නේ, “මම නැති වුණාම EPF සල්ලි ඉබේම මගේ බිරිඳට / සැමියාට හරි දරුවන්ට හරි ලැබෙයි” කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්.

ඔබ ජීවත්ව සිටින කාලයේ EPF අරමුදලට නිසි ලෙස නාම යෝජනා පත්‍රය (Nomination / H Form) භාර දීලා නැත්නම්, ඔබ මියගිය පසු ඒ මුදල් නීතියෙන් සැලකෙන්නේ අයිතිකරුවෙක් නියම කරලා නැති දේපළක් ලෙසයි.

* නොමිනී නැති නම් පවුලට වෙන්නේ මොනවාද?

ඔබ නැතිවීමේ දුක මැද්දේ, ඔබේ පවුලේ අයට මේ මුදල් ලබාගැනීම ඉතාමත් අපහසු වෙනවා. ඔවුන්ට කරන්න වෙන්නේ:

• උසාවි යන්න – තමන් ඔබේ නීත්‍යානුකූල උරුමක්කාරයන් බව තහවුරු කිරීමට දිසා අධිකරණයේ බූදල් නඩුවක් (Testamentary Case) ගොනු කිරීම.

• නීතිඥ ගාස්තු ගෙවීම සහ කාලය නාස්ති වීම – ලක්ෂ ගණනක් වියදම් වෙන්නත්, මාස ගණනක්, සමහර වෙලාවට අවුරුදු ගණනක් උසාවි ගානේ දුවන්නත් සිද්ධ වෙනවා.

• අසරණ තත්ත්වයට පත්වීම – ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගය නැති වෙලා තියෙන වෙලාවක, තමන්ගේම මුදල් ටික ගන්න මෙහෙම රස්තියාදු වුණාම ඒ වේදනාව කොච්චර ද?

✅ නොමිනී කෙනෙක් නම් කරලා තිබුණොත්?

එහෙම නම් දේවල් හරිම සරලයි. ඔබේ මරණ සහතිකය සහ නොමිනීගේ හැඳුනුම්පත ඉදිරිපත් කළාම, කෙටි කාලයක් ඇතුළත, කිසිම උසාවි නඩුවක් නැතිව, මුදල් ඔවුන්ගේ අතටම ලැබෙනවා.

ඔබ ජීවිතයෙන් සමුගන්නා වෙලාවේ පවුලට දිය හැකි ලොකුම සහනයක් ඒකයි.

⭕  අදම කරන්න තියෙන වැදගත් දේ

• ඔබ EPF සඳහා නොමිනී කෙනෙක් නම් කරලා තියෙනවද කියලා HR අංශයෙන් හෝ ශ්‍රම කාර්යාලයෙන් විමසන්න.

• විවාහයෙන් පස්සේ, දරුවන් ලැබුණට පස්සේ nomination එක update කරලා නැත්නම්, අදම H Form එක පුරවලා භාර දෙන්න. (අලුත් nomination එකෙන් පරණ එක ස්වයංක්‍රීයව අවලංගු වෙනවා.)

මෙය පොඩි දෙයක් කියලා අගය නොකරන්න.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button