ප්‍රධාන පුවත්

DJ චතුගේ නිවසක් පොලිස්ය වටලයි

පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි DJ චතුගේ නිවසක් පොලිසිය විසින් ඊයේ (25) සවස සෝදිසියට ලක්කර තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන ‘DJ චතු’ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි එම තෙමහල් නිවස සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.

නිවස පරීක්ෂා කිරීමේදී හොරොයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක් සොයාගෙන තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ඇසුරුම් සඳහා මුද්‍රණය කළ කඩදාසි, ඒ සඳහා භාවිත කිරීමට නියමිත විශේෂ කඩදාසි තොගයක් සහ කඩදාසි කපන යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියට අදාළ මතක කාඩ්පත්, ජංගම දුරකථන 3ක් සහ රන් පැහැති ආභරණ තොගයක්ද සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන තිබුණද එය නිරන්තරයෙන් වසා තිබීම සම්බන්ධයෙන් සැක මතුවූ බවයි. ඒ අනුව ලැබුණු රහසිගත තොරතුරක් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙයවන ‘රන්දික’ නමැත්තාගේ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු ලෙස ‘DJ චතු’ නමැත්තා කටයුතු කර ඇති බවය.

ඔහු සිය අනියම් බිරිඳ සමඟ අදාළ නිවස මාසිකව රුපියල් 70,000ක කුලී මුදලකට ලබාගෙන පදිංචිව සිට ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නිවසේ එක් කාමරයක විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශ රටවල සිටින පුද්ගලයන් සමඟ සෘජුව සම්බන්ධ විය හැකි ආකාරයේ සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර තිබූ බවද පොලිසිය නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම තෙමහල් නිවසේ පහළ මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන රැසක CCTV කැමරා සවිකර තිබූ අතර, නිවසේ ඇතුළත මෙන්ම පිටත ප්‍රදේශද ජංගම දුරකථන ඔස්සේ නිරීක්ෂණය කළ හැකි ආකාරයට එම පද්ධතිය සකස් කර තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

පොලිස් භාරයට ගත් රන් පැහැති ආභරණ පරීක්ෂා කිරීමේදී ඒවා සැබෑ රන් භාණ්ඩ නොවන බව තහවුරු වී ඇති අතර, පසුව එම භාණ්ඩ DJ චතු නමැත්තාගේ මව වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මෙම මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button