
අඟුලාන නාවික අනතුර: අතුරුදන් වූ නාවිකයාගේ බවට සැක සිරුරක් හමුවෙයි
අඟුලාන මුහුදු ප්‍රදේශයේ සිදුවූ නාවික යාත්‍රා අනතුරින් පසු අතුරුදන්ව සිටි නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන සිරුරක් සොයාගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් අදාළ සිරුර යාත්‍රාව තුළ තිබියදී සොයාගත් බවය.
අඟුලාන නාවික අනතුර සිදුව තිබුණේ පසුගිය අගෝස්තු 15 වනදා වේග ප්‍රහාරක යාත්‍රාවක් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු සමඟ අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වීමත් සමඟය.
අනතුර සිදුවූ අවස්ථාවේ යාත්‍රාවේ සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලීසිය සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව සිදුකළ මෙහෙයුමකදී බේරාගෙන තිබුණි.
කෙසේවෙතත්, එක් නාවික හමුදා නිලධාරියෙකු එම අවස්ථාවේ සිට අතුරුදන්ව සිටි අතර, ඔහු සොයා නාවික හමුදාව විසින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඒ යටතේ අවට මුහුදු ප්‍රදේශ මෙන්ම වෙරළ තීරයද ආවරණය කරමින් පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා පුළුල් සෝදිසි මෙහෙයුම් සිදුකළ බව නාවික හමුදාව සඳහන් කළේය.
එම සෝදිසි මෙහෙයුම් අතරතුර අද පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්‍රාව තුළ තිබී සොයාගත් සිරුර අතුරුදන්ව සිටි නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරේ.



