
කොස්ගම සුසාන භූමියේ වළක් හාරා “තොවිලයක්” නැටූ සිද්ධිය ගැන විමර්ශන
කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් භූමදානය කළ ස්ථානය හාරා, එහිදී තොවිලයක් පැවැත්වූ බවට සැක කෙරෙන පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පසුගිය මැයි 16 වනදා කොස්ගම – තාවල්ගොඩ ඇලේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, ඔවුන්ගේ දේහයන් කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ භූමදානය කර තිබුණි.
එම ස්ථානය ඉකුත් 14 වනදා අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් හාරා, තොවිල් කටයුත්තක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී, සුසාන භූමිය අසල නිවසක CCTV දර්ශන මගින් සැකකටයුතු කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් එම ප්රදේශය වෙත ගමන් කරන අයුරු ද නිරීක්ෂණය වී තිබේ.
අදාළ ලොරි රථය කොස්ගම විද්යාල මාවතේ පිහිටි නිවසකට ගමන් කර ඇති අතර, එම නිවසේ හිමිකරුගෙන් කළ ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහියංගණ ප්රදේශයෙන් පැමිණි යකදුරන් පිරිසක් එම ස්ථානයේ තොවිලයක් සිදු කළ බවය.
ඒ අනුව අත්අඩංගුවට ගත් නිවැසියා ඊයේ (16) අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
පසුව අධිකරණ නියෝගයක් අනුව වළ වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇතත්, මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන් තුළ සැකයක් ඇතිවීම හේතුවෙන් ඊයේ සවස යළිත් උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
පසුව ගම්වාසීන් ඉදිරියේ යළි කැණීම් සිදු කර මිනී පෙට්ටිය එම ස්ථානයේ තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසු පෙර පරිදිම භූමදානය කිරීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන අතර, තොවිලය පැවැත්වූ බව කියන යකදුරා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බව කොස්ගම පොලීසිය පවසයි.



