
ශ්‍රී ලංකා – චීන ආගමන පාලන ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා චීන ආගමන පාලන ගිවිසුම
ශ්‍රී ලංකාව සහ චීනය අතර ආගමන පාලන ගිවිසුමක් මගින් දෙරටේ ආගමන පාලන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතය.
නිල සාකච්ඡා සහ තොරතුරු හුවමාරුව
මෙම ගිවිසුම හරහා දෙරටේ ආයතන ප්‍රධානීන් සහ නිල නියෝජිතයන් අතර සාකච්ඡා හා සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම වැදගත් නිල තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.
වීසා සහ ආගමන කටයුතු පහසු කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ සහ චීනයේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්රවල නිරත පුරවැසියන්ට අදාළ වීසා, ආගමන හා විගමන කටයුතු සම්බන්ධයෙන් පහසුකම් සැලසීමද යෝජිත ගිවිසුමේ අරමුණකි.
සක්‍රීය සහ සාධනීය ප්‍රවේශයක් ඔස්සේ එම කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටද අවධානය යොමු කර තිබේ.
මිනිස් ජාවාරමට එරෙහිව දැඩි පියවර
සංවිධානාත්මක අපරාධ ගණයට අයත් මිනිස් වෙළෙඳාම සහ ජාවාරම් සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමද මෙම ආගමන පාලන ගිවිසුම මගින් අපේක්ෂා කෙරේ.
මීට අමතරව ආගමන පාලන කටයුතුවල නිරත නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ධාරිතාව වර්ධනය කිරීම සඳහා වැඩමුළු සංවිධානය කිරීමටද සැලසුම් කර ඇත.
ගිවිසුමට අවශ්‍ය නිෂ්කාශන හිමිවෙයි
යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම නීතිපතිවරයාගේද නිෂ්කාශන ලබාගෙන තිබේ.
ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



