ප්‍රධාන පුවත්

වසර තුනකදී තැඹිලි ගම්මාන 250ක්

ශ්‍රී ලංකාව පුරා වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන හෙට (02) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් මහායාය වතු පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.

වසර තුනකදී ගම්මාන 250ක්

මෙරට තැඹිලි වගා කර්මාන්තය පුළුල් කිරීම, නිෂ්පාදනය හා ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

වැඩසටහනේ පළමු අදියර ලෙස 2026 වසරේදී ගම්මාන 75ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, 2027 වසරේදී තවත් ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2026 සිට 2028 දක්වා කාලය තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

2030 වන විට අස්වැන්න සහ අපනයන ආදායම ඉහළට

2030 වසර වන විට මෙරට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම වැඩසටහනේ තවත් ඉලක්කයකි.

එමෙන්ම තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් ලැබෙන අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමටද සැලසුම් කර ඇත.

ගොවීන්ට සහන

තැඹිලි ගොවීන් දිරිමත් කිරීම සඳහා දැනට පවතින තැඹිලි ගස් පුනරුත්ථාපනය කිරීමේදී එක් ගසක් සඳහා රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට නියමිතය.

නව වගාව සඳහා භාවිත කරන තැඹිලි පැළයක සාමාන්‍ය වටිනාකම රුපියල් 750ක් වුවද, එය ගොවීන්ට රුපියල් 150ක සහනදායී මිලකට ලබාදීමට කටයුතු කෙරේ.

2026 වසර තුළ තැඹිලි ගස් 20,300ක් පුනරුත්ථාපනය කිරීමටත්, නව තැඹිලි පැළ 37,500ක් රෝපණය කිරීමටත් සැලසුම් කර තිබේ.

ඊට අමතරව 2026–2028 කාලය තුළ නව වගාව සඳහා තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් වැඩසටහන ඇරඹෙයි

මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය කෙරේ.

මොනරාගල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කළුතර, පුත්තලම, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මාතලේ, ගාල්ල, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ගම්මාන 75ක් මේ වසරේදී වැඩසටහනට ඇතුළත් වේ.

අක්කර 500කට ජල පහසුකම්

තැඹිලි වගාකරුවන්, එකතු කරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරගනිමින් විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමද වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.

එමෙන්ම තැඹිලි වගා කරන අක්කර 500ක් සඳහා ජල සම්පාදන පහසුකම් සැපයීමටත්, වගාව ආශ්‍රිත ආදායම් සහ රැකියා අවස්ථා පුළුල් කිරීමටත් පියවර ගැනීමට නියමිතය.

පවුල් 21,250කට ප්‍රතිලාභ

තැඹිලි වගාව, අස්වැන්න එකතු කිරීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව නව ආදායම් හා රැකියා අවස්ථා නිර්මාණය කිරීමද “Ceylon King Coconut Village” වැඩසටහනේ අරමුණකි.

ඒ තුළින් පවුල් ඒකක 21,250ක ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ශක්තිමත් කරමින් ඔවුන් ජාතික ආර්ථික වර්ධනයේ සෘජු හවුල්කරුවන් බවට පත් කිරීමද වැඩසටහනේ අරමුණ වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button