උණුසුම් පුවත්

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසු අලිරේසා අරාෆි නව කවුන්සිල ප්‍රධානියා

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් අනතුරුව එරට අන්තර්වාර පාලන ව්‍යුහය යටතේ නව නායකත්ව පත්කිරීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි නව කවුන්සිල ප්‍රධානියා ලෙස පත්කර තිබේ. එම කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් අතර ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් ද අයත් වේ.

අමෙරිකාව සමඟ එක්ව ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවකින් කමේනි ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය සඳහන් කරයි. ටෙහෙරාන් හි ඔහුගේ කාර්යාලය ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති අතර, ඔහුගේ දේහය සුන්බුන් අතරින් හමුවූ බව ද වාර්තා විය.

1989 සිට දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ 86 හැවිරිදි කමේනි, රාජ්‍ය ප්‍රධානියා මෙන්ම ඉරාන විප්ලවීය හමුදාව ඇතුළු සියලු හමුදා බලකායන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 1979 ඉරාන විප්ලවයෙන් පසු රුහුල්ලා කමේනි බලයට පත්වූ අතර, ඔහුගේ අභාවයෙන් පසු අලි කමේනි උත්තරීතර නායකත්වයට පත්විය.

කමේනිගේ මරණයත් සමඟ ඉරානය දින 40ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර

ඊයේ (28) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව “Operation Roaring Lion” නමින් හැඳින්වූ ප්‍රහාර මාලාවක් දියත් කළේය. එම ප්‍රහාර ටෙහෙරාන්, ඉස්ෆහන්, කොම්, කරාජ් සහ කේමන්ෂා යන නගර ඉලක්ක කරමින් සිදුකෙරිණි.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මුලින්ම ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එරට සතු Iron Dome ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් බොහෝ ප්‍රහාර ව්‍යර්ථ කර තිබේ.

පසුව ඉරානය, මැදපෙරදිග රටවල ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු සහ ස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කටාර්, සෞදි ආරාබිය, කුවේට්, ජෝර්දානය සහ ඉරාකය තුළ ස්ථාන රැසක් ප්‍රහාරයට ලක්වූ බව සඳහන් වේ.

අද පස්වරුවේ සාජා හි ප්‍රධාන වෙළෙඳ සංකීර්ණයක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් ගින්නක් ඇතිව තිබේ. තවද, ඕමානය ආසන්න මුහුදේදී පලාව් ධජය යටතේ ගමන් කළ බහාලුම් නෞකාවක්ද ප්‍රහාරයකට ලක්ව ඇත.

මරණ සහ කලාපීය උත්සන්නතාව

ඉරාන රතු අඩසද සංවිධානය අනුව මෙතෙක් ප්‍රහාරවලින් 200කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර 108ක්ම වාර්තා වී ඇත්තේ කාන්තා පාසලකට එල්ල වූ ප්‍රහාරයකිනි.

එමෙන්ම ඉරාන හමුදා ප්‍රධානීන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද වාර්තා වේ. කමේනිගේ දියණිය, බෑණා සහ මුණුබුරෙකුද මියගිය පිරිස අතරට අයත් බව සඳහන් වේ.

කමේනිගේ මරණයට වගකිව යුතු බවට චෝදනා කරමින් ඉරානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය වෙත දැඩි ප්‍රතිචාර දක්වන බව අවධාරණය කරයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් දැඩි ප්‍රතිචාර ලබාදෙන බවයි.

නව නායකත්ව ක්‍රියාවලිය

ආධ්‍යාත්මික නායක මරණයෙන් පසුව අන්තර්වාර පාලනය සඳහා ජනාධිපති මසූද් පෙෂෙස්කියන්, අධිකරණ ප්‍රධානියා සහ විනිසුරුවරයෙකුගෙන් යුත් මණ්ඩලයක් පත්කර තිබේ.

සාමාජිකයින් 88 දෙනෙකුගෙන් සමන්විත ‘නායකත්ව ප්‍රවීණයන්ගේ සමුළුව’ මඟින් ඉදිරියේදී ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා පත් කරනු ඇති බව සඳහන් වේ.

කමේනිගේ මරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුද්ධ භීතිය උච්චතම මට්ටමකට ළඟාවී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button