
පූජිත් සහ හේමසිරිගේ පාපොච්චාරණය – මරණ දඬුවමට පෙර
පූජිත් සහ හේමසිරිගේ පාපොච්චාරණය මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් විය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීම ඇතුළු චෝදනා 855ක් යටතේ නඩු විභාගයට ලක්ව සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් චෝදනා 854කට වරදකරුවන් කරමින් මරණීය දණ්ඩනය නියම කිරීමෙන් අනතුරුව ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මරණීය දණ්ඩනය නියම නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය දෙපාර්ශ්වයට අවස්ථාව ලබාදුන්නේය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහිදී මෙසේ ප්‍රකාශ කළේය.
” ස්වාමිනි, මම හිතලා කිසිම මිනී මැරීමක් කරලා නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මට වගකීමක් තියෙන බව මම පිළිගන්නවා. නමුත් ඒ සම්බන්ධ අනිත් සියලු අය මුදාහැරලා. හැම පැත්තකින්ම මම පුදුමාකාර පීඩනයක ඉන්නේ ස්වාමිනි. මේ සිද්ධියෙන් පස්සේ විවිධ නඩුවලින් මම අද වනතුරු පීඩා විඳිනවා. ඉතිං රටේ පොලිස්පතිවරයා ලෙස මට මෙවැනි තත්ත්වයක් ඇතිකිරීම කොතරම් මානුෂියදැයි සලකා බලන්න. මං දිහා කරුණාවෙන් අනුකම්පාවෙන් බලන්න ස්වාමිනි. හිතාමතා කිසිම දවසක කිසිවෙකුට අයුක්තියක් හිරිහැරයක් වෙන රාජකාරියක් කරලා නැහැ.”
ඉන් අනතුරුව සිය අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කළේය.
” සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී… ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යාංශවල ලේකම්ලා වගේමයි. විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මතයි මම කටයුතු කරන්නේ…”
එම ප්‍රකාශය අවසානයේදී ඔහු තවදුරටත් සඳහන් කළේ,
” ස්වාමීනී… මම වයස අවුරුදු 76 ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපායැ. ඉතිහාසය කවදා හරි මාව නිදහස් කරයි.”
යනුවෙනි.
කෙසේ වෙතත් බහුතර විනිසුරුවරුන් චෝදනා 855න් 854කට දෙදෙනාම වරදකරුවන් බව තීන්දු කරමින් මරණීය දණ්ඩනය නියම කළ අතර, තීන්දුවෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර නිලධාරීන් භාරයට පත්කර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.



