උණුසුම් පුවත්

වෙළඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටේ – ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

වෙළඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටේ යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සිද්ධිය උතුරු අක්ෂාංශ 06°54′ සහ නැගෙනහිර දේශාංශ 079°32′ ආසන්න මුහුදු ප්‍රදේශයේදී වාර්තා වී ඇති අතර, දැනට පවතින මුහුදු දියවැල් හේතුවෙන් එම බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරය දෙසට පාවී ඒමේ වැඩි ඉඩක් පවතින බව දැනුම් දී ඇත.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන බහුදින සහ කුඩා ධීවර යාත්‍රා මෙන්ම එම මාර්ගයේ ගමන් කරන සියලු නාවිකයන් ඉතා සුපරීක්ෂාකාරීව සහ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

එමෙන්ම පාවෙමින් පවතින මෙම බහාලුම් යම් අයෙකු නිරීක්ෂණය කළහොත්, ඒ පිළිබඳව වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානයට හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button