
සංස්කෘතික පදනමක් නැති සංවර්ධනය ප්‍රමාණවත් නෑ – ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන අතර, සංස්කෘතිය, ඓතිහාසික උරුමයන් සහ ජාතික අනන්‍යතාව සමඟ බැඳුණු සංවර්ධන ක්‍රියාවලියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.
ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලොව දියුණු රටවල් රැසක් තම සංස්කෘතික උරුමය ආරක්ෂා කරගනිමින් සංවර්ධනය අත්කරගෙන ඇති බවය. ජාතීන් අතර සමගිය, සහජීවනය සහ ජාතික අනන්‍යතාව ශක්තිමත් කිරීම සඳහා ද සංස්කෘතික පදනම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය, විහාරස්ථානවල දානශාලා ඉදිකිරීම, ජල පහසුකම් වැඩිදියුණු කිරීම, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් දහම්පාසල් සංවර්ධනය මෙන්ම ආපදාවලින් හානි වූ ආගමික ස්ථාන යළි ගොඩනැගීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සූර්යබල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ඉඩම් ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර, එම බාධා කඩිනමින් නිරාකරණය කර ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
උරුමයන් සහ ඉතිහාසය නූතන පරපුරට සමීප කිරීම සඳහා ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. නවීන තාක්ෂණය භාවිත කරමින් ඉතිහාසය ජනතාවට සජීවී අත්දැකීමක් ලෙස ඉදිරිපත් කළ හැකි කෞතුකාගාර පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ කළමනාකරණයේ පවතින දුර්වලතා සහ අක්‍රමිකතා පිළිබඳ ද මෙහිදී අවධානය යොමු වූ අතර, ජනතා දේපොළ විධිමත්ව හා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අදාළ නීති සංශෝධනය කර, ඵලදායී නොවන දේපොළ සම්බන්ධයෙන් පුළුල් සමාලෝචනයක් සිදු කර නව නීතිමය රාමුවක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.



