ප්‍රධාන පුවත්

පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්

දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන වඩාත් විධිමත් හා නීත්‍යනුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එම සාකච්ඡාව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ඊට එක්ව සිටියේය.

පවතින පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත තුළ පවතින අඩුපාඩු සහ දුර්වලතා හඳුනාගෙන, කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධන සිදුකර එය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී ප්‍රධාන අවධානය යොමු කෙරිණි.

එසේම, දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක ආයතනවල වත්මන් තත්ත්වය, නීතිමය රාමුව වඩාත් සක්‍රීය කිරීම සහ ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය හා පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේදී පුද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින් එය නිසි නියාමනයක් යටතේ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම, නීත්‍යනුකූල පටිපාටි අනුගමනය කිරීම සහ අදාළ ප්‍රමිතීන් තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, මනා පුහුණුවක් ලත් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් සඳහා ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබාදීම, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, නියමිත වැටුප් හා පහසුකම් ලබාදීම සහ ගුණාත්මක පුහුණුවක් සැපයීම පිළිබඳ කරුණු ද මෙහිදී අවධානයට ලක් විය.

මෙම සියලු කරුණු නව සංශෝධන හරහා නෛතික රාමුවට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button