ප්‍රධාන පුවත්

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 2ට

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතයට අනුමැතිය ලබාදීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන ඔක්තෝබර් 2 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් මහත්වරුන් හමුවේ අද සලකා බැලුණි.

එහිදී වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි ශබ්රි මහත්වරුන් නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට අවසර ලබාදෙමින් නඩුව ලබන ඔක්තෝබර් 2 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා, සුරාබදු නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සුරාබදු පනත අනුව “බීර” යන්නෙන් අදහස් වන්නේ මෝල්ට්වලින් නිෂ්පාදනය කරන ලද පැසුණු මත්පැන් වුවද, වර්තමානයේ බොහෝ නිෂ්පාදකයන් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවයි.

එය සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත්, මහජන මුදලින් සහනාධාර ලබාදෙන සහල් බීර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල කරන අතර, රටේ සහල් ස්වයංපෝෂිතතාවයටද බාධාවක් වන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එමෙන්ම, මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතීන් වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති බවද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

ඒ අනුව, බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතයට අනුමැතිය ලබාදීම වළක්වන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button