
කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව තහනම්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.
මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින සියලු ධීවරයන් හැකි ඉක්මනින් ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
තහනම ක්‍රියාත්මක නොවන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කළ හැකි වුවද, පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ.
ධීවර කටයුතු තාවකාලිකව නතර කිරීමෙන් ධීවර ප්‍රජාවට ආර්ථික අපහසුතා ඇති විය හැකි වුවද, ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදීම අත්‍යවශ්‍ය බව සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ මුහුදු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
නවතම කාලගුණ සහ ධීවර උපදෙස් පිළිබඳ නිකුත් කරන නිවේදන පිළිබඳ අඛණ්ඩව අවධානයෙන් සිටින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.



