
පිල්ලයාන්ගේ රිමාන්ඩ් කාලය යළි දීර්ඝ කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ රිමාන්ඩ් කාලය ලබන අගෝස්තු 04 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය අද (24) නියෝග කළාය.
සැකකරු අද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, 2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ බව කියන ඝාතන පහකට අදාළ නඩුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
අදාළ නඩුවේ කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහ සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් අද විභාගයට ගෙන තිබූ අතර, ඒවා සලකා බැලූ අධිකරණය සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළේය.
මෙම නඩුවට අදාළ චෝදනා අතර කල්ලඩි මුරුගන් කෝවිල අසල හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2008 මැයි 22 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එම වසරේ අගෝස්තු 20 වැනිදා වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළත් වේ. එම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන්ට එරෙහිව නඩු පවරා ඇත.



