
දෙවුන්දර පෙරහර ආරක්ෂාව තර කෙරේ
දෙවුන්දර පෙරහර පැවැත්වීමට නියමිත පසුබිමක මාතර දෙවුන්දර ප්‍රදේශයේ උණුසුම් ආරක්ෂක තත්ත්වයක් මතුව ඇති අතර, අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර පවතින බව පැවසෙන ගැටුම වෙඩි තැබීමක් දක්වා දුරදිග ගොස් ඇත.
ඊයේ (21) රාත්‍රියේ දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසක් ඉලක්ක කර නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි තැබීමෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය සැක පළ කරන්නේ මෙම ගැටුම පිටුපස සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන දෙහිබාලේ මල්ලි සහ කංජිපානි ඉම්රාන් සිටින බවයි. මූලික තොරතුරුවලට අනුව, වෙඩි තැබීම දෙහිබාලේ මල්ලිගේ පාර්ශ්වයෙන් සංවිධානය කර ඇති බවටද සැක කෙරේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළැඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත දෙවුන්දර දේවාලයේ පෙරහර සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත. ඒ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ ශ්‍රී ලංකා යුද හමුදාව යොදවන බව සඳහන් වේ.
මේ අතර, පෙරහරට සහභාගී වන කාවඩි නර්තන කණ්ඩායම් සංඛ්‍යාව සීමා කිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතාට මරණ තර්ජන එල්ල වී තිබුණි. එම තර්ජනය කංජිපානි ඉම්රාන් භාවිත කරන බව කියන “KPI” යන අන්වර්ථ නාමය යටතේ සිදුකර ඇති බවද වාර්තා වේ.
ඉන් අනතුරුව දෙහිබාලේ මල්ලි සහ කංජිපානි ඉම්රාන් යන දෙපාර්ශ්වය නියෝජනය කරන බව කියන හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර, ඒවායේ අන්තර්ගතයද මෙම ගැටුම තවදුරටත් උත්සන්න කර ඇති බව විමර්ශන අංශ සඳහන් කරයි.
වෙඩි තැබීම සිදුවූ අවස්ථාව ආසන්නයේ තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති අතර, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



