
ෆේස්බුක් වාහන මංකොල්ලය
ෆේස්බුක් වාහන මංකොල්ලය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි. රුපියල් ලක්ෂ 40කට මිලදී ගත් වෑන් රථයක් ගිනිඅවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
විමර්ශනවලදී බැලුම්මහර මුදුන්ගොඩ ප්රදේශයේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ මෙම අපරාධ ජාලයට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් ෆේස්බුක් ඔස්සේ වාහන අලෙවි දැන්වීම් පළ කර, ගනුදෙනුව අවසන් වූ පසු සංවිධානාත්මකව එම වාහන පසුපස හඹා ගොස් මංකොල්ලකෑ බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධියට සම්බන්ධ බවට සැක කරන වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුළු අනෙක් සැකකරුවන් ප්රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර, නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්රදේශයේ පිහිටි නිවසකින් කඩු දෙකක්, පිස්තෝල මැගසින් දෙකක්, ජීව උණ්ඩ තුනක් සහ ජීප් රථයක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙවැනිම ආකාරයේ මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන්ද මොවුන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.



