
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පෙර පාසලේ සම අවස්ථා
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් තත්ත්වය සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන් සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමඟ එක්ව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීම සඳහා රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළාය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමාජයෙන් වෙන් කර වෙනම අධ්‍යාපනය ලබාදීමේ පැරණි ක්‍රමයෙන් ඉවත්ව, සියලු දරුවන් සමඟ එකට ඉගෙනීමට අවස්ථාව ලබාදීම රජයේ අරමුණ බව අමාත්‍යවරිය පැවසුවාය.
ඒ සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවද ඇය සඳහන් කළාය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රම සහ චර්යාත්මක සංවර්ධන වැඩසටහන් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරිය, ඔවුන් සාමාන්‍ය දරුවන් අතර හැදී වැඩීම සමාජීය වශයෙන් වැදගත් බව අවධාරණය කළාය.
මෙම වැඩසටහන යටතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ.
පෞද්ගලික අංශයේ විශේෂිත ආයතන කිහිපයක් ද මෙම වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පවතින අවස්ථා තවමත් සීමිත බැවින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි පෙර පාසල් පද්ධතියක් පුළුල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද සඳහන් කළාය.



