
දේශගුණික විපර්යාස හමුවේ ආපදා කළමනාකරණයට දැඩි අභියෝග
දේශගුණික විපර්යාස හමුවේ ආපදා කළමනාකරණයට දැඩි අභියෝග
ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ඇතිවන දේශගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී රට තුළ විවිධ ආපදා තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේ, මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි තත්ත්වයන්ට මුහුණ දීමේදී පවතින මානව සම්පත් හිඟය විශාල අභියෝගයක් වූ බවයි.
ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ සේවක ධාරිතාව වැඩි කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත්, සීමිත සේවක පිරිසක් සමඟ විශාල වගකීමක් ඉටු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරීන්ට රාත්‍රී කාලයේ රැඳී සිටීමට පවා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
දිස්ත්‍රික් මට්ටමේ ආපදා කළමනාකරණ ඒකක සවස 4.30න් පසු ක්‍රියාකාරීත්වය අඩුවීම හේතුවෙන් රාත්‍රී කාලයේ සිදුවන හදිසි ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රමාදයන් ඇතිවන බවද ඔහු පැහැදිලි කළේය.
DMC සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇති නමුත් එම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට කාලයක් ගතවන බවත්, ඒ අතරතුර විශාල ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ගැටලු මතුවිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
ලෝකයේ බොහෝ රටවල් නවීන තාක්ෂණය සහ සම්පත් භාවිත කරමින් ආපදා කළමනාකරණ පද්ධති ශක්තිමත් කරමින් සිටියද, මෙරට එම ක්‍රියාවලිය මන්දගාමී බවද ඔහු පැවසීය.
අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් මිනිත්තු 40ක් පමණ කාලයකින් එහි බලපෑම ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත්, එවැනි අවස්ථාවක වෙරළබඩ ජනතාව මිලියන 3.8ක් පමණ ඉවත් කිරීම දැඩි අභියෝගයක් බවත් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේය.
දැනට පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු කිහිපයක් ක්‍රියා විරහිත වී ඇති බැවින් ඒවා යළි සකස් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



