
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ගැන ආචාර්යවරු තීරණයකට සැරසෙති
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ඉවත් වීම ගැන ආචාර්යවරු අනතුරු අඟවති
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ඉදිරියේදී සහභාගී වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට එම සම්මේලනය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් රජය සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල සියලුම ආචාර්ය සංගම් එක්ව පැවැත්වූ ප්‍රධාන රැස්වීමකදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාම සඳහා ඒකමතික තීරණයක් ගත් බවද ඔහු පැවසීය.
ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට අදාළ ස්වේච්ඡා වැඩසටහන්වලින් ඉවත් වීමටද ආචාර්යවරු තීරණය කර තිබේ.
විෂය නිර්දේශ සංශෝධන, මොඩියුල් සංවර්ධන, ගුරු පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්රණ ඇතුළු ස්වේච්ඡා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා,
“අපි පෙරේදා දිනයේදී සියලූම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය සංගම් එකතු වෙලා අපේ ප්‍රධාන රැස්වීම අපි පැවැත්වුවා. ඒ රැස්වීමේදි අපි ඒකමතිකව තීරණය කළා අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. මොකද අවුරුදු එකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දරුවා පාසලට දාගන්න බැරි නම් මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා තේරුමක් නෑ. ඒ නිසා අපි මූලික වශයෙන් මුලින්ම යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න අපි තීරණය කළා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලූම ස්වේච්ඡා වැඩවලින් ආචාර්යවරු ඉවත් වෙන්න. විශය නිර්දේශ ප්‍රතිසංස්කරණය, මොඩියුල් ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව, සම්මන්ත්රණ ආදී මේ කියන මේ හැමදේකටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වචේඡාවෙන් සම්බන්ධ වෙන්නේ. මේ කටයුතුවලින් අපි ඉවත් වෙන්න තීරණය කළා. සති දෙකක කාලයක් මේ රජයට ලබා දෙනවා සති දෙකක කාලයක් ඇතුළත අපිට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අපි තීරණය කරනවා ඉදිරියේදී එන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අපි සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක ගැන.”
රජයෙන් සති දෙකක් ඇතුළත නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



