
දිස්ත්‍රික් සංවර්ධනයට නව සැලසුම් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
දිස්ත්‍රික් සංවර්ධනයට නව සැලසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කර ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.
හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් අවශ්‍යතාව අනුව නිදහස් කිරීම සහ ආයෝජන සඳහා සුදුසු විශාල ඉඩම් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් හඳුනාගන්නා හදිසි පාලම්, මාර්ග හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
මහජන සේවා කාර්යක්ෂම කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් වැළැක්වීමටත්, එවැනි ප්‍රදේශවලට විදුලිය හා ජල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් අවධානය යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එහි කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.
යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසර තුළ යළි පදිංචි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම ගංවතුර හා නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත නිවාස වෙත යොමු කිරීම, අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති සමාලෝචනය කර අවශ්‍ය ව්‍යාපෘති පමණක් සම්පූර්ණ කිරීම සඳහා පියවර ගැනීමට ද අවධානය යොමු කර තිබේ.
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අකාර්යක්ෂම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සහ අත්‍යවශ්‍ය ක්ෂේත්රවල පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ද පැවසීය.
බන්ධනාගාර තදබදයට බලපාන රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය අවම කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



