ප්‍රධාන පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථිකයට යොමු කිරීමට රජයේ සැලසුමක්

අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාර මත පමණක් රඳවා නොගෙන, ඔවුන් ඵලදායී ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ කර සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් මෙම වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

අඩු ආදායම්ලාභී ජනතාව දිගින් දිගටම සහනාධාර මත රඳවා තැබීම වෙනුවට, ඔවුන්ගේ ශ්‍රම හැකියාව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර තිබේ.

දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, විවිධ ආයතනවලින් වෙන්ව ලබාදෙන ප්‍රතිපාදන එක් කර නිශ්චිත පවුල් ඉලක්ක කරගනිමින් ක්‍රියා කිරීම වැදගත් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් සැබෑ ලෙසම සවිබල ගැන්වී ඇත්ද යන්න මැන බැලීම සඳහා නව මිණුම් ක්‍රමවේදයක් සකස් කර ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ප්‍රජා ශක්ති වැඩසටහන ඇතුළු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සහ අපනයන හැකියාව සහිත ව්‍යාපෘති සඳහා ණය හා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි සහ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය මගින් රැකබලා ගන්නා අතර, හැකියාව ඇති පිරිස් රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

තවද රැකියාවල නිරත මව්වරුන්ට සහ ආබාධ සහිත දරුවන්ට සහායක් ලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථාන 10ක් මෙම වසර තුළ අවසන් කිරීමටත්, ඉදිරියේදී එවැනි මධ්‍යස්ථාන 50ක් දිවයින පුරා ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද මෙහිදී අනාවරණය විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button