
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 5ක් – 35කට තුවාල
මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් අද (06) පෙරවරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තාවලට අනුව මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව සඳහන් වේ.
මීට පෙර නිකුත් කළ තොරතුරුවල දැක්වුණේ තුවාල ලැබූ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එහිදී මියගිය දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් බව රෝහල් අධ්යක්ෂවරයා තහවුරු කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු 35කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ සහ අවට පොලිස් ස්ථානවලින් ද නිලධාරීන් කැඳවා තිබේ. එමෙන්ම පොලිස් විශේෂ කාර්යය බළකාය ද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදවා ඇති අතර, නොසන්සුන් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.
මේ අතර, ඊයේ (05) සවසද මීගමුව බන්ධනාගාරයේ ඇති වූ වෙනත් නොසන්සුන් සිද්ධියකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණි.



