
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලයට නැග විරෝධයේ
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද (05) දහවල් බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් අනතුරුව වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ ගැහැනු වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.
ඒ අතරතුර, මීට සුළු වේලාවකට පසුව පිරිමි රැඳවියන් පිරිසක්ද බන්ධනාගාරයේ වහලය මතට නැග සිය විරෝධය පළ කිරීමට කටයුතු කර ඇත.
අද දහවල් රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 35 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
එම සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
තුවාල ලැබූ රැඳවියන් අතරින් තවත් දසදෙනෙකු සැත්කම් සඳහා යොමු කිරීමට නියමිත බවත්, අනෙක් පිරිස මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මූලික තොරතුරු අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ තොරතුරක් අනාවරණය කිරීම මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවට සැලකේ.
සිද්ධියෙන් පසු බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇති අතර, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද එම ස්ථානයට කැඳවා තිබේ.



