
පාස්කු විමර්ශනවලට සලේ පූර්ණ සහාය දිය යුතුයි – නලින්ද ජයතිස්ස
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කර සාධාරණය ඉටු කිරීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් සතු සියලු තොරතුරු විමර්ශන අංශ වෙත ලබාදිය යුතු බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු බුද්ධි හා හමුදා නිලධාරියෙකු ලෙස සලේ මහතා දන්නා තොරතුරු සඟවා තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි.
“කොහොම වුණත් බුද්ධි නිලධාරියෙක් හැටියට හා හමුදා නිලධාරියෙකු හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්නා දේවල් ප්‍රකාශයට පත්කිරීම. ආරක්ෂක අංශවලට සහාය ලබාදීම.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ…”
සුරේෂ් සලේ මහතා රඳවා සිටින තත්ත්වය සහ ඔහුට ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඔහු වෙනුවෙන් විශේෂ රැඳවුම් පහසුකම් සකස් කර නොමැති බව පැවසීය.
ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කර ඇති බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
“මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා සුරේෂ් සලේ මහතා විසින් සමහර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය බව පැවසු විගස ප්‍රමාදයකින් තොරව ලබා දී තිබෙනවා කියලා. රෝහලේදී ඥාතීන්ට බලන්න අවසර දිලා තියෙන්නේ. ආහාර ලබා දෙන්නේ ඥාතීන් විසින්. එයා ඉල්ලා හැමදේම ලබා දෙමින් ඉන්නවා.”
එමෙන්ම, පෙර පැවති ආණ්ඩු සමයේ රැඳවුම් නියෝග යටතේ පුද්ගලයන් රඳවා තැබූ ආකාරයටම සලේ මහතාද රඳවා සිටින බවත්, ඔහු වෙනුවෙන් වෙනම සිරකුටියක් හෝ විශේෂ කාමරයක් සකස් කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
“ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් හඳලා නෑ. මීට පෙර කට්ටිය රඳවාගෙන සිටිය විදියටමයි එයාවත් රඳවාගෙන සිටින්නේ. මීට පෙර සිටි අය එහෙම කම්ප්ලේන් කළා කියලා දැනුම්වත් වීමක් නෑ. සලේ මහත්තයා වෙනුවෙන් වෙනම සිර කුටියක් අපි හදලා නෑ. සමාන්‍ය ක්‍රමයටමයි ඇතුළත් කරලා තියෙන්නේ. කලින් ආණ්ඩුවලත් රැඳවුම් නියෝග මත සිරකරුවෝ හිටපු විදියටම තමා ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍යකරණ පෝෂණය දෙනවා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ගැන දැඩිව අවදානයෙන් ඉන්නවා.”



