ප්‍රධාන පුවත්

සලේට නීතිඥ හමුවීම සතියකට වරක් පමණයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම සඳහා කළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සලේ මහතාගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය විසින් ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන මහතාට සතියේ දින පහ පුරා සලේ මහතා හමුවීමට අවසර ලබාදෙන ලෙස CID වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර, එයට පිළිතුරු ලෙස CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලිපියක් මගින් සිය ස්ථාවරය දැනුම් දී ඇත.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විමර්ශන කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන බැවින් මේ අවස්ථාවේ නීති උපදෙස් ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

තවද නිතර නීතිඥවරයා හමුවීම හේතුවෙන් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අඩාල විය හැකි අතර එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට ද බලපෑම් කළ හැකි බව CID පෙන්වා දී තිබේ.

අධිකරණ නියෝග අනුව දැනටමත් සෑම බදාදා දිනයකදීම නීතිඥවරයාට සලේ මහතා හමුවීමේ අවස්ථාව සලසා ඇති බවත්, ඒ අනුව ඉදිරියටත් එම ක්‍රමවේදය යටතේ පමණක් හමුවීම් සඳහා අවසර ලබාදිය හැකි බවත් අදාළ ලිපියේ සඳහන් වේ.

එසේම සලේ මහතාගේ බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති බැවින් නීතිඥවරයාට අමතර හමුවීම් සඳහා අවසර ලබාදිය නොහැකි බව CID අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button