ප්‍රධාන පුවත්

ලබන වසරේ ප්‍රාග්ධන වියදම් බිලියන 2000 දක්වා ඉහළට

ලබන වසරේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අද (13) කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මේ වසර තුළ ප්‍රාග්ධන වියදම් සඳහා රජය රුපියල් බිලියන 350කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි. එමෙන්ම පළාත් සභා සහ මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 550ක ව්‍යාපෘති අනුමත කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ඊට අමතරව පාලම් හා බෝක්කු සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බවත්, සමස්තයක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග හා සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 200ක පමණ මුදලක් යෙදවෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම 2025 සහ 2026 වසරවලදී රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට හැකිව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,500 දක්වා ඉහළ ගොස් ඇති බව ද ප්‍රකාශ කළේය.

මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පසුගිය වසරේ වාර්තා වී ඇති අතර, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් ද වර්ධනය වන ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button