ප්‍රධාන පුවත්

වතු පාසල් සංවර්ධනයට රජයේ ප්‍රමුඛ අවධානය

වතු පාසල් සංවර්ධනය රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවති වතු පාසල් සංවර්ධන වැඩමුළුවකට එක්වෙමිනි.

වතු ආශ්‍රිත පාසල්වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී පවතින ගැටලු හඳුනා ගැනීම සහ ඒවායේ සංවර්ධන ප්‍රමුඛතා අනුව ඉදිරි සැලසුම් සකස් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

වතු පාසල් සඳහා නව සංවර්ධන ව්‍යාපෘති හඳුන්වාදීම, ජාතික ක්‍රමෝපාය සහ සැලසුම් දෙපාර්තමේන්තුවේ (NPD) ආකෘතියට අනුව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම මෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙළ පිළිබඳවද නිලධාරීන් දැනුවත් කර ඇත.

එම වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ අදහස් ලබා ගැනීමද වැඩමුළුවේදී සිදුකර තිබේ.

මේ අතර, ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් 34ක් සඳහා නව පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම සහ පාසල් 23ක් සඳහා ආරක්ෂක බිත්ති ඉදිකිරීම ඇතුළු කැබිනට් අනුමැතිය හිමිව ඇති ව්‍යාපෘති පිළිබඳවද නිලධාරීන් දැනුවත් කර ඇත.

වතු පාසල්වල පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීම, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ශිෂ්‍ය සුබසාධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෑම ක්ෂේත්‍රයක් තුළදීම මලයගම් ප්‍රජාව ප්‍රජාවක් ලෙස ඉදිරියට යා යුතු බව රජය විශ්වාස කරන බවයි.

එමෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලින් දෙමළ මාධ්‍ය ගුරුවරුන් වැඩි පිරිසක් බඳවා ගැනීමේ සැලැස්මක් සකස් කර ඇති බවත්, ඒ සඳහා එම ප්‍රදේශ ආශ්‍රිත ගුරු විද්‍යාල සංවර්ධනය කිරීම අවශ්‍ය බවත් ඇය පෙන්වා දී තිබේ.

කොටගල ගුරු විද්‍යාලය සංවර්ධනය කිරීම එම වැඩපිළිවෙළේ මූලික අරමුණක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button