ප්‍රධාන පුවත්

සලේගේ පෙත්සම ජූලි 10 දක්වා කල් තැබේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජූලි 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය.

සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින්, ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. අන්තවාදී දෘෂ්ටිවාදයේ ව්‍යාප්තිය සහ එයට අදාළව පසුගිය කාලයේ ලැබී තිබූ බුද්ධි තොරතුරු පිළිබඳ අවධානය යොමු කළේය.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ බවත්, එම කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී විදේශීය අන්තවාදී කණ්ඩායම්වල සම්බන්ධතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබියදීත්, එවකට CID අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදු නොකළ බවටද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

එමෙන්ම, 2016 සිට 2019 අප්‍රේල් දක්වා සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බවත්, අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 129 දෙනෙකුගේ ලැයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබීය.

ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 අප්‍රේල් 4 වනදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සහ එයට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුළත් විස්තරාත්මක අනතුරු ඇඟවීමක් මෙරට බලධාරීන්ට ලබාදී තිබුණද, ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

තවද, පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකින් හෝ කොමිෂන් වාර්තාවකින් තහවුරු වී නොමැති බවද ඔහු අවධාරණය කළේය.

මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම් ජූලි 10 වනදා සිදු කිරීමට නියම කරමින් නඩුව එදින දක්වා කල් තැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button