
එල්-නිනෝ අවදානමට සූදානම් වීමට ජනපතිගෙන් උපදෙස්
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් සහ ඒවාට මුහුණදීම සඳහා අදාළ ආයතන ගෙන ඇති සූදානම්කම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එල්-නිනෝ තත්ත්වයක් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්රයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, එම අභියෝග කළමනාකරණය කිරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජලාශවල වත්මන් ජල ධාරිතාව, කෘෂිකාර්මික අවශ්‍යතා, පානීය ජල සැපයුම සහ විදුලි නිෂ්පාදනයට බලපාන කරුණු ඇතුළු අංශ රැසක් පිළිබඳවද මෙහිදී විමර්ශනය කර තිබේ.
නිලධාරීන් පෙන්වා දුන්නේ මෙවර ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය 2016–2017 කාලයේ අත්විඳි තත්ත්වයට සමාන විය හැකි බවයි. ඒ අනුව ජල කළමනාකරණ සැලසුම් සකස් කර ඇති අතර, 2026 යල කන්නය මාස එකහමාරකට පමණ පෙර ආරම්භ කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන් විය.
ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම, කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා, විදුලි නිෂ්පාදනය, වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හමුවේ රට මුහුණදුන් අභියෝග සාර්ථකව කළමනාකරණය කළ ආකාරයටම, එල්-නිනෝ තත්ත්වයද නිසි සැලසුම් සහ සම්බන්ධීකරණය තුළින් ජයගත හැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.



